පොදු ශ්වසන ගැටළු
ශ්වසන ගැටළු යනු ශ්වසන මාර්ගය සහ පෙනහළු ව්‍යුහයන්ට බලපාන තත්ත්වයන් වේ. ඒවා තීව්ර හෝ දිගුකාලීන විය හැකි අතර, පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපායි. මෙම පොදු ශ්වසන ගැටළු ගැන අවබෝධයක් ඇති වීම, මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීමට හා කළමනාකරණය කිරීමට උපකාරී වේ. පහත දැක්වෙන්නේ වඩාත් පොදුවේ දක්නට ලැබෙන ශ්වසන ගැටළු කිහිපයකි:

1. ඇදුම රෝගය (Asthma)
ඇදුම රෝගය යනු ශ්වසන මාර්ගයේ දැවිල්ල හා පටු වීම නිසා හුස්ම ගැනීම දුෂ්කර වන දිගුකාලීන තත්ත්වයකි. හුස්ම ගැනීමේ දුෂ්කරතා, පපුවේ තදබව, සහ කැස්ස යන රෝග ලක්ෂණ ඇතුළත් වේ. ඇදුම රෝගය ඇතිවීමට අසාත්මිකතා, ව්‍යායාම, සීතල වාතය, හෝ ශ්වසන ආසාදන බලපායි. ප්‍රතිකාර සඳහා සාමාන්‍යයෙන් ඉන්හේලර් භාවිතා කිරීම සහ දන්නා සාධක වලක්වා ගැනීම අවශ්‍ය වේ.
2. දිගුකාලීන අවරෝධක පෙනහළු රෝගය (Chronic Obstructive Pulmonary Disease /COPD)
COPD යනු එම්ෆිසීමා සහ දිගුකාලීන බ්රොන්කයිටිස් ඇතුළත් ප්රගතිශීලී පෙනහළු රෝග සමූහයකි. මෙය ප්‍රධාන වශයෙන් සිගරට් දුමාරය වැනි උත්තේජක වායු හෝ අංශු වලට දිගුකාලීනව නිරාවරණය වීම නිසා ඇති වේ. රෝග ලක්ෂණ අතර නිතර පවතින කැස්ස, ශ්ලේෂ්මල නිපදවීම, හුස්ම ගැනීමේ දුෂ්කරතා, සහ නිරන්තර ශ්වසන ආසාදන ඇතුළත් වේ. ප්‍රතිකාර අරමුණු කරන්නේ රෝග ලක්ෂණ අඩු කිරීම සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. මෙය සාමාන්‍යයෙන් බ්රොන්කොඩයිලේටර්, ස්ටෙරොයිඩ, සහ ජීවන රටාවේ වෙනස්කම් හරහා සිදු කරයි.
3. උග්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය (Acute Bronchitis)
උග්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය යනු ශ්වසන මාර්ගයේ දැවිල්ල ස්වභාවයයි. එය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන නිසා ඇති වේ. ශ්ලේෂ්මල සහිත කැස්ස, පපුවේ අපහසුතාවය, තෙහෙට්ටුව, සහ මද උණ යන රෝග ලක්ෂණ ඇතුළත් වේ. උග්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය සාමාන්‍යයෙන් ඉබේම සුව අතට හැරුනත් විවේකය, ද්‍රව පාන, සහ ෆාමසියෙන් බෙහෙත් වට්ටෝරුවක් රහිතව ලබා ගත හැකි ඖෂධ, රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාර වේ.
4. නියුමෝනියාව
නියුමෝනියාව යනු එක් පෙනහළුවක හෝ දෙකෙහිම වාත කෝෂවල දැවිල්ලක් ඇතිවන ආසාදනයක් වන අතර ඒවා දියර හෝ සැරව වලින් පිරී යා හැකිය. එය බැක්ටීරියා, වෛරස් හෝ දිලීර වලින් ඇති විය හැක. රෝග ලක්ෂණ අතරට පපුවේ වේදනාව, උණ, වෙව්ලීම, ශ්ලේෂ්මල සහිත කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළත් වේ. ප්‍රතිකාර, ආසාදනයේ හේතුව සහ බරපතලකම මත රඳා පවතින අතර ප්‍රතිජීවක, ප්‍රතිවෛරස් ඖෂධ හෝ ප්‍රතිදිලීර ඖෂධ එයට ඇතුළත් විය හැක.
5. ක්ෂය රෝගය
ක්ෂයරෝගය යනු ප්‍රධාන වශයෙන් පෙනහළුවලට බලපාන බැක්ටීරියාවක් වන Mycobacterium tuberculosis නිසා ඇතිවන බරපතල ආසාදන රෝගයකි. රෝග ලක්ෂණ අතරට සති තුනකට වඩා කාලයක් පවතින නිරන්තර කැස්ස, පපුවේ වේදනාව, ලේ සහිත කැස්ස, තෙහෙට්ටුව, බර අඩුවීම, උණ සහ රාත්‍රියේ දහඩිය වැගිරීම ඇතුළත් වේ. ක්ෂයරෝගය ඉතා පහසුවෙන් පැතිරෙන රෝගයක් වුවද දිගුකාලීන ප්‍රතිජීවක ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.
6. ඉන්ෆ්ලුවෙන්සාව (influenza) (උණ)
ඉන්ෆ්ලුවෙන්සාව යනු ශ්වසන පද්ධතියට බලපාන වෛරස් ආසාදනයකි. රෝග ලක්ෂණ අතරට උණ,වෙව්ලුම, මාංශ පේශි වේදනාව, කැස්ස, නාසය අවහිර වීම, සොටු දියර ගැලීම, හිසරදය සහ තෙහෙට්ටුව ඇතුළත් වේ. බොහෝ අය සංකූලතාවලින් තොරව ඉන්ෆ්ලුවෙන්සාවෙන් සුව වුවද එය විශේෂයෙන් කුඩා දරුවන්, වයස්ගත වැඩිහිටියන් සහ පවත්නා වූ සෞඛ්‍ය ගැටළු ඇති අයට බරපතල විය හැක. මෙම ආසාදන වලින් වැළකී සිටීමට නම් වාර්ෂිකව ඉන්ෆ්ලුවෙන්සා සඳහා ලබාදෙන එන්නත් ලබා ගැනීම නිර්දේශ කෙරේ.
7. නාසාරන්ධ්ර ඉදිමීම (Sinusitis)
නාසාරන්ධ්ර ඉදිමීම හෙවත් නාසාරන්ධ්ර ආසාදනය යනු අස්ථි කුහරවල ඇති පටල වල ඛේදනය හෝ ඉදිමීමයි. එය ආසාදන, ආසාත්මිකතා හෝ නාසික පොලිප් (polyps) නිසා ඇති විය හැක. මෙහි රෝග ලක්ෂණ අතරට නාසය අවහිර වීම, නාසයෙන් ඝන දියර ලෙස සොටු දියර ගැලීම, මුහුණේ වේදනාවක් ඇතිවීම, පීඩනය, හිසරදය සහ ගඳ, සුවඳ හඳුනා ගැනීමේ හැකියාව අඩුවීම ඇතුළත් වේ. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම අවහිරතා නාශක, නාසික කෝටිකොස්ටරොයිඩ ( corticosteroid) සහ බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක දක්වා පරාසයක පවතී.
8. ආසාත්මික ඝ්‍රාණදාහය (Allergic Rhinitis)
ආසාත්මික ඝ්‍රාණදාහය සාමාන්‍යයෙන් කෘශ උණ (hay fever) ලෙස හඳුන්වනු ලබන රෝගයකි. එය පරාග, දූවිලි කුණු හෝ සුරතල් සතුන්ගේ ලොම් වැනි නිශ්චිත ආසාත්මික ද්‍රව්‍ය වලින් ඇතිවන ආසාත්මික ප්රතිචාරයකි. රෝග ලක්ෂණ අතරට කිවිසුම් යාම, සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම, ඇස්, මුඛය හෝ සම කැසීම සහ තෙහෙට්ටුව ඇතුළත් වේ. ආසාත්මික ඝ්‍රාණදාහය පාලනය කිරීමට, දැනසිටින ආසාත්මිකතාවලින් වැළකී සිටීම, ප්‍රතිහිස්ටමින් (ආසාත්මිකතාවේ බලපෑම් නිශ්ක්‍රීය කිරීමට යොදාගන්නා ඖෂධයක්), නාසික විදින (nasal spray) සහ ඇතැම්විට රෝග ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිතා කිරීම ඇතුළත් වේ.
ශ්වසන ගැටළු සුළු හා කෙටි කාලීන තත්ත්වයන්ගේ සිට බරපතල හා දිගුකාලීන තත්ත්වයන් දක්වා පරාසයක පවතින අතර, එය දෛනික ජීවිතයට බරපතල ලෙස බලපානු ලබයි. රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීම, හොඳ කළමනාකරණයක් පවත්වාගැනීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක කරගත හැකිය. නිතිපතා වෛද්‍ය පරීක්ෂණ, එන්නත් ලබා ගැනීම, දුම්පානය වලක්වා ගැනීම සහ හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම මගින් මෙම පොදු ශ්වසන ගැටළු වලක්වා ගත හැකිය. ඔබ නිතර හෝ බරපතල රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, නිවැරදි විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
අදාළ වීඩියෝ
